Friday, January 12, 2018

රිය අනතුරු

           
                            රිය අනතුරු වළකමු..  ජීවිත රැකගමු...

                                                    

         අතීතයේ ගමනාගමනය සඳහා භාවිත වූයේ ගොන් බැඳි කරත්තයයි. එහෙත් වර්තමානය වෙද්දී එයට රථවාහන ආදේශ වී ඇත්තේය. රථ වාහන මිනිසාගේ කාර්ය ඉතා පහසු කරන අතර සංවර්ධනය වෙමින් පවතින රටක වැඩිදියුණු විය යුතු ප්‍රධාන අංගයක් වන්නේ ද ගමනාගමනයයි. මහාමාර්ගවල රථවාහන වැඩිවීමත් සමඟ නිතර අපට අසන්නට දකින්නට ලැබෙන රිය අනතුරු සංඛ්‍යාව ද දිනෙන් දින ඉහළ යන බවක් පෙනේ. මේ නිසා සිදුවන ජීවිත හානි බොහෝය. එමෙන්ම ඇතිවන ආර්ථික අලාභ ද සුළුපටු නොවේ.
       තිස් අවුරුදු යුද්ධයෙන් මිය ගිය සංඛ්‍යාවට වැඩි පිරිසක් වර්තමානය වන විට රිය අනතුරුවලින් මිය යමින් සිටිති. මේ අනුව මහ මඟ ත්‍රස්තවාදය ලෙස ද රිය අනතුරු හඳුන්වන්නට යෙදිණි. මේවා පිළිබඳ සාකච්ඡා, සම්මන්ත්‍රණ, වැඩමුළු, උපදේශන දිනපතා සිදු වුවත්  කිසිදු ප්‍රයෝජනයක් සිදු වී නැති බව පෙනී යයි.
       රිය අනතුරු අවම කිරීමට  දඩ මුදල් වැඩිකර තිබේ. එය තරමක් ඉහළ දමා තිබීම ද විශේෂයකි. ප්‍රධාන වැරැදි පහකට හඳුන්වා දී ඇති අවම දඩය රුපියල් 25,000/- කි. බීමත් ව රිය පැදවීම, රියදුරු බලපත්‍ර නැතිව රථවාහන ධාවනය කිරීම, රක්‍ෂණ ආවරණයක් නැතිව රථයක් ධාවනය කිරීම, බාල වයස්කාරයන් වාහන ධාවනය කිරීම මෙන් ම බලපත්‍ර නැති අයට රථවාහන ලබාදීමත් මේ වැරැදි අතර පවතී. තවත් වැරැදි ගණනාවක දඩය ද ඉහළ දමා ඇත. මේ කිසිවක් අයුක්ති සහගත යැයි කියන්නට බැරි ය.

  රිය අනතුරු වලට මුලික හේතු කිහිපයක් හඳුනා ගත හැකිය. එහි අංක එක වනුයේ  අපරීක්ෂාකාරී ඉස්සර කිරීම් ය. අපේ රියදුරෝ වංගුවේදීත් ඉස්සර කරති. කහ ඉරේදීත් ඉස්සර කරති. ඉරි දෙකේදීත් ඉස්සර කරති. අධික වේගය දෙවන ‍හේතුව වේ. රිය පාලනය කරගැනීමට නොහැකි වීමෙන් අනතුරු විශාල ප්‍රමාණයක් සිදු වී ඇත. හරියට අපේ රියදුරන් රථය ධාවනය කරනුයේ ඊයේ යන්නට සිටි ගමනක් මේ දැන් යනවා වගේ ය. ඉන් හැඟී යන්නේ ඉවක් - බවක් නැතිව රථවාහන පදවන බව ය. මේ නිසාම නීතිගරුක පුද්ගලයාටද සන්සුන් ලෙස රථය ධාවනය කිරීමේ හැකියාවක් නැත.
        රටක්‌ අඩු ආදායම් සහ මධ්‍ය ආදායම් මට්‌ටම්වල සිටිනවා නම්, එවැනි රටවල රිය අනතුරු මංකොල්ල කෑම් දූෂණ වංචා ඉහළ මට්‌ටමක පවතිනවා. විශේෂයෙන්ම මේ රටවල පුද්ගලයන්ගේ මනෝ භාවයන් විවිධයි විෂමයි. ඒ හැරුණු විට ආකල්ප සංවර්ධනය කිරීම බෙහෙවින් ගැටලු සහගතයි. කොයි දේ කොහොම වුණත්, සියයට අනුවක්‌ පමණම වාහන අනතුරුවලට ලක්‌වන්නේ, ත්‍රීවීල් යතුරු පැදි පා පැදි, රියදුරන් සහ පදිකයින්. මේ අය වෙනුවෙන් තමයි නීති පද්ධතියක්‌ රටේ ඇති විය යුත්තේ. මොකද මේ අයගේ ජීවිත වල වටිනාකම් මනින්න මිනුම්දණ්‌ඩක්‌ නැහැ. ජීවිතයක්‌ අහිමි වුණාම එහි ආදීනවය විඳවන්නේ ජීවත් වෙන්න ඉතිරි වන පවුලේ සාමාජිකයින්. බිරිඳ දරුවන්. රිය අනතුරුවලින් ජීවිත අහිමි වුණ දහසක්‌ පිරවරුන්ගේ ස්‌වාමිපුරුෂයන්ගේ වියෝවයට පසුව දහසක්‌ පීඩා විඳීන බිරින්දෑවරු දරුවෝ අද සමාජයේ මොන තරම් නම් අසරණ වෙලා ඉන්නවාද,? ඒ අය තමන්ගේම මහන්සියෙන් කැපවීමෙන් ජීවිතය ගැටගහගෙන ඉදිරියට යන්න ඕනෑ. මේ තත්ත්වයට පත්වුණ අය විතරයි එහි පීඩාව දන්නේ. නමුත් ඒ වන විට සිදු විය යුතු දේ සිදු වී හමාරය.
        රිය අනතුරක්‌ වළක්‌වා ගැනීමට දැනුම පමණක්‌ ප්‍රමාණවත් වන්නේ නැහැ. ලෝකයේ කුමන මට්‌ටමේ දියුණු රටක්‌ වුවද අධ්‍යාපනයෙන් පමණක රිය අනතුරු වළක්‌වාගෙන නැහැ. මත්පැන් පානය කළ පසු රථවාහන ධාවනය නොකරන්නැයි මහජනතාව දැනුවත් කොට තිබෙනවා. නමුත් මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතයෙන් පසුව වාහන ධාවනය කරන පිරිස්‌ රටේ ඉහළ සිට පහළටම සිටිනවා. හෙල්මට්‌ එක පාවිච්චි නොකර යතුරු පැදියට නගින්න එපා කියා හැම මොහොතකම දැනුම් දෙනවා. එවැන්නන් පොලිසියෙන් අල්ලනවා, දඩ ගහනවා. ඒත් අතුරු පාරක ධාවනය කරන යතුරු පැදිකරුවෝ කිසි වෙලාවක හෙල්මට්‌ දාන්නේ නැහැ. මේ කාරණා අවබෝධ කරවන්නේ තමන්ගේ ආරක්‌ෂාවට කියලා මේ අය හිතන්නේ නැහැ. එවැනි සරළ කරුණු වලින්ම අපට පැහැඳිලි වෙනවා දැනු වත් කිරීමෙන් පමණක්‌ රථවාහන අනතුරු වළක්‌වා ගන්න බැහැ කියලා.
        කල්පනා කර බලන්න.., අපි වාහනයක්‌ පදවන්න පටන් ගත් මුල් දින කිහිපය. අපි මේ වාහනයක්‌ එළවනවා ය කියලා අපට හිතෙනවා. දැන් තිරිංග  තද කරන්න ඕනෑ. වමට හරවන්න ඕනෑ කියන කාරණා අපි බොහොම විමසිල්ලෙන් හිතලා කරනවා. නමුත් වාහනය පැදවීම ඇඟට කා වැදුන දවසේ ඉඳලා ඔය මොනවත් හිතන්නේ නැහැ. කෙටියෙන්ම කියතොත් දැන් ජංගම දුරකතනය කනේ තියාගෙන අපිට යන්න ඕනෑ තැනට ගියේ කොහොමද වත් නොදැන අපි ඔහේ වෙන සිහියක යනවා. මේ තත්ත්වය එන්න එන්න දරුණු වේගෙන එන විට නීති රීති පැනවීමක්‌ අවශ්‍ය වෙනවා. ඒවගේම අනතුරුත් බහුල වෙනවා.
       මත් පැන් භාවිත කොට රිය පැදවීම , වලංගු බලපත්‍රයක්‌ නොමැති රිය පැදවීම , වලංගු බලපත්‍රයක්‌ නොමැතිව අයෙකුට රිය පැදවීමට දීම, දුම්රිය ගේට්‌ටු හරහා අනාරක්‌ෂිතව රිය පැදවීම, රක්‌ෂණ සහතිකය නොමැතිව රිය පැදවීම, වමෙන් ඉස්‌සර කිරීම යන වරදවල් නොකළ සිටිය යුතුය.මෙකී වරදවල් හිතා මතා සිදු කරන වරදවල් එවැනි වරදවල් සඳහා දඩ මුදල් මීටත් වඩා වැඩි කළ යුතු නොවේද? හිතා මතා සිදු කරන වරදකින් ජීවිත හානියක්‌ සිදු කරන්නේ නම් එය බරපතළ වරදක්‌ බව අප අමතක නොකළ යුතුය.
      කරුණු කෙසේ වෙතත් අවසානයේ ජීවිතයෙන් වන්දි ගෙවන්නේ අහිංසක දුප්පත් මිනිස්‌සු. පා පැදි යතුරු, පැදි, ත්‍රීවීල් මොනතරම් දිනකට අනතුරුවලට ලක්‌ වෙනවාද, තමන්ගේ ජීවිත මහාමාර්ගයේ දී ආරක්‌ෂිතද නැද්ද කියලා දැන් දැන්  මිනුසුන් තේරුම් ගත යුතුව ඇත.
    රටක්‌ හැමදාම වැරදි කර කර දඩ කොළ දිදී ඉදිරියට යන්න ඕනැ නැහැ. ස්‌වයං සංවරකමක්‌ රියෑදුරෙකු විසින්ම සාදා ගත යුතුය.
·       වේගයෙන් රිය ධාවනය නොකිරීම.
·       බස්‌ රථවලට ප්‍රමාණය ඉක්‌ම වූ මගීන් පැටවීම නොකිරීම.
·       තරගකාරී ධාවනයෙන් තොරවීම.
·       කඳු හෙල්, පල්ලම්, වංගුවලදී ධාවනය කරනවිට ඉතා සැලකිලිමත්වීම.
·       නුසුදුසු තත්ත්වයේ වාහන ධාවනයට නොයෙදවීම.
·       බීමත්ව රිය පැදවීමෙන් වැළකීම.
·       මාර්ග නීති ගැන අවධාරණය කිරීම.
·       යතුරුපැදි, ත්‍රීවීල් ධාවනයේදී මාර්ග නීති පිළිපැදීම හා විනයගරුක වීම.
යන කරුණු පිළිබඳව සෑම රියදුරෙකුම අවධානය යොමු කළ යුතුය.

      තමන්ගේ අම්මගේ, තාත්තගේ,සහෝදර සහෝදරියන්ගේ ජිවිත මහජනතාවගේ ජිවිත අනතුරේ දානවද රැක ගන්නවද කියලා ඔබම මොහොතක් සිතන්න... ඔබ ඔබේ ජීවිතයටත් ඔබේම අයගේ ජීවිතය පිළිබඳවත් හොදින් සිතන්න.... ජිවිත රැකගමු..... රිය අනතුරු වළකමු......










2 comments:

කන්නෙලියේ වගතුග

                             කන්නෙලියේ වගතුග ශ්‍රී ලංකාවේ පිහිටි කන්නෙලිය රක්ෂිතය   වැසි වනාන්තර අතරින් ප්‍රමුඛ ස්ථානයක් ග...